Tuesday, August 27, 2019

උතුරු  කළපු සරසන අනවසර සංක්‍රමණිකයෝ - රජ සියක්කාරයෝ

රටකින් රටකට සංක්‍රමණය වීමට වීසා මෙන්ම විදේශ ගමන් අවසර පත්ද වර්තමානයේදී අනිවාර්ය වන්නේය.නමුත් මෙකී කිසිම අවසරයක් හෝ අවසරපතක්  නොමැතිව තම අභිමතය මතම පිහිටා රටකින් රටකට හෝ රටවල් හරහා හෝ ගමන් කිරිම සදහා ස්වාභාවිකව වරප්‍රසාද ලද්දාවු සුවිශේෂි වු පිරිසක් පිළිබදවයි මේ කතාබහ.
සත්ව රාජධානියේ කොදු ඇට පෙළක් සහිත වුත් phoenicopteridae පවුලට හා phoenicopterus කුලයටත්  p.roseus විශේෂයට අයත්වු  Phoenicopterus roseus (ෆීනිකොප්ටෙරස් රොසේසයුස්) යන විද්‍යාත්මක නාමකරයෙන් හදුන්වන මේ වන විට ශ්‍රි ලංකාවේ උතුරු පළාත පුරා විසිරි පවත්නා කළපු පුරා තම අණසක භුක්තියට පවරාගෙන රජකරනා රක්ත වරණධාරින් පිළිබදවයි මෙම විමසුම.
ගිනි වර්ණ කුරුල්ලා යන්නනේ වර නැගෙන මෙම සියක්කාරයන් ඉංග්‍රිසි බසින් ෆ්ලෙමින්ගෝ (Flamingo) යනුවෙන් හදුවනු ලැබේ.ලෝකයේ ප්‍රාග් ඓතිහාසික යුගයේදි විශේෂ හතක් ජීවත් වී ඇති අතර මෙම විශේෂ වර්තමානයේ දැකගත හැකි විශේෂ වලට ඉදුරාම වෙනස් ලක්ෂණ දරු බවට සත්ව විද්‍යාඥයන්ගේ මතය වන්නයේ.මේ වන විට ලෝකය පුරා විසිරි පවත්නා සියක්කාරයන් විශේෂ හයක්  හදුනාගෙන ඇත.
අප්‍රිකා මහත්දීපය සිය මුලික නිජබිම කරගෙන ජීවතවන මෙම රාජකීය පක්ෂින් දකුණු ආසියාවේ ඉංදියවේ මෙන්ම පකිස්ථානයේද, ස්පාඤ්ඤයේද,ඇල්බේනියාව,ප්‍රංශය,තුර්කිය,ග්‍රි සිය, පෘතුගාලය මෙන්ම ඉතාලියේද ජීවත් වේ.මෙයට අමතරව මෙම නිහැරියන් අනවසරයෙන් ලංකාවේ කළපු පද්ධතියද ආක්‍රමණය කරනු ලබයි.
සුද රෝස හි ගිනියම් වු රතු වරණයකින් අලංකාර වු මෙම ආඩම්බරකාරයන් විශාල රංචු වශයෙන් සමාජශිලි ජීවතයක් අන්‍යොන බැදිම් මුල්කරගෙන ගතකරනු ලැබන අතර රජ සියක්කාරයන් ලෙසට හදුන්වනු ලැබේ.
අවම වශයෙන් 500 ක් 1000 ක් පමණ වන රංචු වශයෙන් හැසිරෙන මෙම උජාරුකාරයින් සංක්‍රමණයේදි මෙවැනි රංචු කිහිපයක් එකතුව තම චාරිකාවන් අරඹනු ලබන්නේ උතතර අරධ ගෝලයට ශිත කාලය පැමිණෙද්දීමය.

වරකට බිජු 03 ත් -04 ත් අතර ප්‍රමාණයක් දමන අතර සෙන්ටීමීටර් 110ත් 150ත් අතර සාමාන්‍ය උසකට මෙම පක්ෂියා වැඩේ. එමෙන්ම අත්තටු විහිදු විට දෙකෙළවර අතර දුර මීටරයකට ආසන්න වන්නේය.රතු පැහැයට හුරු දික් වු කකුල් හා සර්පිලාකාරව වුත් සෑම දිශාවකටම හැරවිය හැකි වුත් දිගු ගෙල හේතුවෙන් කළපුවල මෙන්ම නොගැඹුරු ජලයේ ඇවිදිමින් ආහාර සොයා ගැනීම සදහා විශාල පිටුවහලක් ලැබේ.

විශේෂයෙන්ම පෙරා බුදින්නන් කාණ්ඩයක් වන මෙම පක්ෂි විශේෂය නර්තනයක් විලාශයෙන් සිය දෙපා හා දිගු බෙල්ල හා හොටය ආධාරයෙන් ආහාර සොයා සිදු කරනු ලබන මෙහෙයුම අතිශය මනස්කාන්ත දර්ශනයක් වන්නේය.
ප්‍රධාන වශයෙන් ලංකාවට පක්ෂි සංක්‍රමණ මාර්ග තුනක් පවතින අතර එහි ඉන්දියන් උප මහත්දීපයේ බටහිර මාර්ගය ඔස්සේ ප්‍රධාන වශයෙන් මෙරටට සංක්‍රමණය වන මෙම පක්ෂින් ප්‍රධාන වශයෙන් මෙරට කළපු පද්ධතිය සිය අනසකට යටත්කරගන්නේ ඔවුන්ගේ පොෂණාගාරයක් ලෙසට පාරම්පරිකව භුක්තිවිදි පුරද්දටය.
2015 වසර අගභාගයේදි මා කිළිනොච්චිය කළාප කාර්යාලයෙන් වනජීවී සංරක්ෂණයට අත්පොත් තබනවිට හදුනාගත් මෙම පක්ෂින් ඉන් අනතුරු වරින් වර මා නිරික්ෂණය කළ අතර මේ වන විට සිය සංචාරය අතරමග නවතා දමා මෙහිම තාවකාලික පදිංචිය අයදුම් කොට රැදි සිටින ආකරයක් ඇතැම් විට මා සිතට දැනෙයි.

නමුත් මෙම අදහස් මා විසින්ම බැහැර කරනු ලබන්නේ මේ වන තෙක් කිසිදු කුඩා පැටවෙකු, බිජුවක් හෝ අවම වශයෙන් බිජු ලන කුඩුවක් හෝ කිසිවෙකුගේ ඇස නොගැටීම හෙතුවෙනි.
සෑම විටම තම ආරක්ෂිත වපසරිය අවම මීටර් 75 ක් 100 ක් පමණ දුරකට විහිදුවගෙන රැගුම් පානා මෙම නර්තන ශිල්පීන් කිසිම මොහොතක එම දුර ප්‍රමාණය අභිබවා ඔවුන් වෙත ලංවීම සදහා කිසිවෙකුටත් අවසරයක් ලබානොදේ.මෙම අවසර ලබානොදීම දිවාකාලයට මෙන්ම රාත්‍රි කාලයටද එකසේ වලංගු වේ.
මෙම වසරේ මේ වන තෙක් උතුරු පළාත වෙත වර්ෂා සමය නොඑළඹිම මත සිය අලංකාර නර්තනයන්ගෙන් කළපු සරසමින් මෙම පක්ෂින් හැසිරෙනු අතර අවිධිමත් වු සංවර්ධන හේතුවෙන් සිය ගොදුරු බිම් අහිමිව යෑමත් ඇතැම් අවස්ථාවන් හිදි අධිබලැති විදුලි රැහැන් පද්ධතින් ද තැන තැන අක්‍රමවත්ව ඉදිවෙන සුළංබලාගාරද යම් පමණකට මෙම පර්යටකයනට බාධා එල්ල කරනු දැකගත හැකිවන්නේය.







සටහන හා සෙයා රූ -
බී.ජී.එස්.කුමාර.

No comments:

Post a Comment